• September 21, 2020
0 Comments

බෙදා හරින්න

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශයට ප්‍රේම කිරීම දේශප්‍රේමය ලෙසින් බොහෝ දෙනා හඳුන්වති. වැදගැම්මක් නැති හේතු නිසා මරන්නට හා මැරෙන්නට ඇති කැමැත්ත දේශප්‍රේමය වන බව නොබෙල් ත්‍යාගලාබී බර්ට්‍රන්ඩ් රසල් නම් වූ දාර්ශනිකයාගේ අදහසයි. ඔහු තවදුරත් පවසන්නේ එම දේශප්‍රේමීන් හැමවිටම තමන් මව්බිම වෙනුවෙන් “මැරෙන” බව කියතත්, මව්බිම වෙනුවෙන් “මරන” බව කිසිවිටෙක ප්‍රකාශ නොකරන බවයි. මෙලෙසින් විවිධ පුද්ගලයින් විවිධ අදහස් දරන, ලංකාවේ උදේ හවා ඇසෙන ‘දේශප්‍රේමය’ නමැති වචන මාත්‍රයේ සැබෑ අර්ථ මාත්‍රය අප සොයා බැලිය යුතුය.සැබෑවටම දේශප්‍රේමය කියන්නේ රටට ආදරය කිරීමද? රට කියන්නේ මොකක්ද? රට කියන්නේ වර්ග කිලෝමිටර හැටපන්දහසකට සිමා වුන ඔබ දැන් පය තබාගෙන සිටින පස් ගොඩටද? එසේනම් අපි ආදරය කලයුත්තේ පස් වලටද?

මෙලෙසින් රටට ආදරය කිරීම විහිළුවක් බව ඔබට සිතීමට පුළුවන. එසේ සිතීම සාධාරණය. නමුත් ඊනියා දේශප්‍රේමීන්ගේ ප්‍රේමය මෙවැනි එකකි. ඔවුන් කුළල් කාගන්නේ භුමියේ ආධිපත්‍ය උදෙසාය. නමුත් රට යනු භූමිය පමණක්ම නොවෙයි. රට යනු එම භුමියේ ජිවත් සියලු වන මිනිසුන් ය. රට යනු එම භුමිය සරසන සියළු වෘක්ෂ ලතාවෝය. රට යනු එම භුමියේ මිනිසුන්ට පහසුකම් සලසන සියළු පොදු දේපල ය. එසේනම් රටට ආදරය කිරීම යනු රටේ සිටින මනුෂ්‍යන්ට එක ලෙස ආදරය කිරීමය. රටේ තිබෙන සියලු තුරු ලතාවන් වලට ආදරය කිරීමය. සියලු පොදු දේපල වලට ආදරය කිරීමය. එසේ කිරීම සැබෑම දේශප්‍රේමයි.

රට විනාශ කිරීම යනු මේ සියල්ල විනාශ කිරීමය. වැසිකිළියක් පාවිච්චියෙන් පසු එහි පවිත්‍රතාවය ගැන තැකීමක් නොමැතිනම්, තවත් පුද්ගලයෙක් තමන් මෙන්ම සිය අවශ්‍යතාවයන් හොඳින් ඉටුකරගනිමට අවශ්‍ය බව සිතෙන්නේ නොමැතිනම්, තමන්ගේ අවශ්‍යතාවය පමණක් ඉටුවූවිට එය ප්‍රමාණවත් යැයි කියා සිතෙනවානම්, ඔහු රටට ආදරය කරනෙක් වන්නේ කෙසේද?

ආහාර යැයි කියා මුදල් පරමාර්ථයෙන් ඒවාට නොයෙකුත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය මිශ්‍රවන අයුරින් සහ කල් ඉකුත්වූ අහාර සකසා අපේම රටේ මිනිස්සුන්ට අලෙවි කරනවානම්, ඔවුන් කෙලෙසින් රටට ආදරය කරන්නන් වේද? අන්තවාදී අදහස් වලින් මිනිසුන් ගේ ඉහමොළ විනාශ කර ඔවුන්ගේ සිතීමේ අයිතිය නැතිකර දමන්නා කෙසේනම් රටට ආදරය කරන්නෙක් වන්නේද? අපේම මිනිසුන් සමඟ ඇණ කොටා ගැනීමට පොළඹ වන්නා කෙසේනම් රටට ආදරය කරන්නෙක් වන්නේද? ඔවුන් ආදරය කරන්නේ රටට නොවේ. තමන්ගේ ඉහ මොළ කා දැමූ තමන්ගේ වහල් හිමියන්ට පමණි. දේශප්‍රේමයේ නාමයෙන් ඔවුන් ඔබට ඉගැන්වූයේ ප්‍රේමය නොවේ වෛරයයි. එය ප්‍රේමය නම් අප සියලු දෙනාට මුළු ලෝකයටම ප්‍රේම කළ යූතුය. ඔබ රටට ආදරය කරන අයෙක් නම් රටට ආදරය කරනවා යනුවෙන් මෙතෙක් කල් කර තිබෙන්නේ කුමක්දැයි කියා ඔබම නිදහස් මනසින් කල්පනා කර බලන්න. දේශප්‍රේමය කියා ඔබ කර තිබෙන්නේ විවිධ පුද්ගලයින් ඔබ තුලට දැමූ දෘෂ්ටි කරපින්නාගෙන යෑම නොවේද?රටට ආදරය කිරීම, දේශප්‍රේමය යනු එක එක මජර දේශපාලුවන් වෙනුවෙන් කත් ඇදීමක් ලෙසට අද ඇතැම් දේශපාලනික අනාථයන් පිරිසක් මිනිසුන්ගෙ ඔලුවලට කාවද්දමින් සිටියි.

“අපේ අසවල් නායකයාට විරුද්ධ නම් නුඹ එකාන්තයෙන්ම දේශද්‍රෝහියෙක්!” ලෙස හංවඩු ගසන තත්වයටම දේශප්‍රේමය යන සංකල්පය පහතට ඇද දා තිබේ. ඔබ දේශප්‍රේමියෙක් යයි ඔබ සිතනවා නම්, මදකට කල්පනා කොට බලන්න,ඔබ දේශයෙ ගහට කොලට ආදරය දක්වනවාද? දෙමල සිංහල මුස්ලිම් බර්ගර් සමලිංගික ද්වීලිංගික විශම ලිංගික යනුවෙන් මිනිසුන් නොබෙදා ආදරය දක්වනවාද? සියලුම පුරවැසියන්ගේම අයිතින් වෙනුවෙන් පෙනී සිටීමට ආත්ම ශක්තියක් තිබෙනවාද? එසේ තිබේ නම් ඔබ හදවතින්ම දේශප්‍රේමියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares