• October 28, 2020
0 Comments

බෙදා හරින්න

පසුගිය දශක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාව යටත් කරගෙන තිබුණේ දේශපාලන පවුල් දෙකක් විසිනි. ඒ හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායක පවුලත්, මැදමුලන වලව්වේ රාජපක්ෂ පවුලත් ය. අප සියලුදෙනා ඔවුන්ගේ රැඟුම් බලමින් සිටි යටහත් පහත් පුරවැසියෝ වීමු. අරගලයකින් පසු 1948 දී  බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ගැලවී ප්‍රජාතන්‍ත්‍රවාදී නිදහසක් ලැබූවද, ඉන්පසුවත් අප අත්වින්දේ තාත්තාගෙන් දුවට, පුතාට, බිසවට, පවුලේ සාමාජිකයින්ට බලය යන, රජ පවුල් අතර පමණක් හුවමාරු වන දේශපාලන ක්‍රමයකි. මුළු පාර්ලිමේන්තුව ම එකට සම්බන්ධ පවුලකි. එම නිසා 70 වසරක දේශපාලන ක්‍රමය තුළ දූෂණය, මැරකම, අවනීතිය, පොදුගුනාකරය වීම සාමාන්‍ය දෙයකි. ඔවුන් සිදුකළේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ජනතාවගේ ඡන්ද පාවාදීමය. මෙය අපි හොඳින්ම දුටු යුගය 2005-2015 රාජපක්ෂ යුගයයි.

පළමුවෙන්ම රණවිරු දඩයම පටන්ගත්තේ රාජපක්ෂ වරුයි!

හමුදා නිලධාරීන්ගේ සැලසුම් මත, රණවිරුවන්ගේ ක්‍රියාන්විතයන් තුළින්, පැවති දේශපාලන පරිසරය තුළ තිස්වසරක කුරිරු යුද්ධය මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදයෙන් අවසන් කරගැනීමට හැකිවිය. යුධ ජයග්‍රහණයට උරදුන් සියළුදෙනා පදක්කම් ගරු නම්බු නාම සහිතව දේශප්‍රේමීන් ලෙස සහතික කලේ හිටපු නායකයන් අතින්මය. නමුත් 2010 දී සරත් ෆොන්සේකා මහතා ජනපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ එතුමාට ලබා දී තිබූ දේශප්‍රේමී නම්බුනාම ගැලවෙන්නට පටන් ගත්තේය. අවසානයේ එතුමා දේශද්‍රෝහියෙක් විය. එතුමාගේ ප්‍රතිරූපය බිඳ දැමීමට නොගත් උත්සහයක් නැත. 2010 ජනාධිපතිවරණය සමයේ රජයේ නාලිකා වලින් දිනපතා ඉඩි අමීන්ගේ හෝ හිට්ලර්ගේ ච්ත්‍රපට ප්‍රදර්ශනය කෙරීය.ඒ හමුදා පාලකයෙකුගේ භයානක කම මහජනතාවට පෙන්වා දීමටය.

එදා හිට්ලර්ලාට විරුද්ධ වුවත් අද ඒ විරෝධය නැත. අද ඔවුන්ම හිට්ලර්ලා ඉල්ලා වැළපෙයි. වහල් භාවයටත් එහාගිය දේශපාලන මුග්ධභාවය එයයි. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා එම සටනින් ජයග්‍රහණය ලැබීය. ඉන් පසුව ඔවුන් පළමුව කලේ ෆොන්සේකා මහතාව දේශපාලන සිරකරුවෙක් බවට පත් කිරීමය. යුධවිරුවෙක් යැයි සම්මත කෙරූ ඔහුගේ පදක්කම් ද ඔහුට අහිමි විය. ඊට එල්ල වූ ප්‍රභල විරෝධයත් සමඟ, මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනපති සමාව යටතේ එතුමා හිරෙන් නිදහස් විය. ජනපති සමාවක් නොලැබුනේ නම්, ඔහු සදා කාලික සිරකරුවෙක් වනු ඇත. ඔවුන් අතින්ම  පදක්කම් ලැබූ අයෙක් එසේ බරපතළ වැරදි කරුවෙක් වීමට තරම් එතුමා කළ වරද කුමක්දැයි යන්න තවමත් මහජනතාවට පැහැදිළි නැත.   

රාජපක්ෂ ගාය වර්ධනය වීම

යුධ ජයග්‍රහණයකින් පසු රාජපක්ෂවරු බලය අත්පත් කරගත් නිසා ඔවුන් කෙරෙහි ගෞරවයක් මෙන්ම භියමුසු යටහත් භාවයක් ද ජනතාව තුළ ඇතිවිය. එමනිසා මුල්කාලයේ රාජපක්ෂ වරුන්ට විරුද්ධව කෙල බිංදුවක් වත් කිසිවකුගේ මුවින් පිට වූයේ නැත. මේ දේවල් සිදුවන අතරමග රාජපක්ෂලාට වන්දනා මාන කරන සංස්කෘතියක් ඇතිවිය. ‍රාජ්‍ය මාධ්‍ය මගින් රාජපක්ෂ දේවත්වයේ බීජය ජන මනස තුළ රෝපණය කළහ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයෙක් නොවේ රජෙකි. එලෙසින් ලාංකීය චින්තනය ගෝත්‍රික චින්තනයට පසුබැස්සේය. රාජපක්ෂලාට විරුද්ධ වන්නන් දේශපාලනය නොදන්නා අය බවට සමාජයේ හෑල්ලු විය. ඇතැමුන්ට සුදුවෑන් චාරිකා ද ලැබුණු බව නොරහසකි. ඔවුන් සිතුවේ මිනිසුන් හැමෝම ඔවුන්ට වන්දනා කළයුතුයි කියාය. එය තැන් තැන් වලින් ගැලවෙද්දී ඔවුන්ට එය දරාගත නොහැකි විය.

නමුත් එම මිනිසුන් ජනතාවට හෙළිකලේ රාජ්‍ය මාධ්‍ය වලින් නොපෙන්වූ මොවුන්ගේ අනික් පැත්ත ය. මේ දේවල් සමඟ මහින්ද දේශපාලන භූමියේ කේන්ද්‍රය විය. මහින්ද වාදීන් හා මහින්ද විරෝධීන් යනුවෙන් කඳවුරු දෙකක් ඇතිවිය. එමනිසා යම්කිසි කෙනෙකු මහින්දගේ ගුණ වයනවානම් ඔහු හෝ ඇය නිතරඟයෙන්ම පාර්ලිමේන්තුවට යැවීමට තරම් ලාංකීය ජනයා මන්ද බුද්ධික විය. වැඩියෙන්ම ගුණ වයන්නා වැඩිම මනාප ගනියි. එමනිසා පබාලා,ගිතලා පමණක් නොවේ කුඩුකාරයෝ කසිප්පු කාරයෝද පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. මහින්ද පාක්ෂිකයා බලාපොරොත්තු වූ එකම සුදුසුකම මහින්දගේ ගුණකතනයක් සිදුකොට තමන්ව පිනවීමට ඇති හැකියාවයි. එහි අනිත් පැත්තද එයමය. මහින්දට වැඩියෙන්ම විරුද්ධවන්නන් ද පාර්ලිමේන්තුවට නිතරඟයෙන් පත්විය.

මඩ, ද්වේශය, වෛරය මුසුවූ ප්‍රකාශ වලට දෙපාක්ෂිකයින්ගෙන් ම ඉල්ලුමක් පවතී. අවශ්‍යවන්නේ කුමන හෝ අයුරින් ප්‍රතිවාදියාට පහරගැසීම සහ තම නායකයා වෙනුවන් ගුණ කථනය කිරීම පමණි. හරවත් සංවාදයක් සිදුවන්නේම නැත. අද UNP සමඟ දීග කන, එදා රනිල්ගේ ජිවිතය විහිලුවකට ලක්කළ මර්වින් සිල්වා වැන්නන් ජනප්‍රිය වූයේ එම නිසාය. මොවුන්ගේ අවලන් කතා වලට වෙනම තීරුවක් රුපවාහිනී ප්‍රවෘති විකාශ තුළ වෙන්වී ඇත. මිනිසුන් මනාප දෙන්නේ එතනින් හොඳම විකටයාට ය. මේ දේවල් සමඟ රාජපක්ෂ යුගය 2015 දී නිමවිය. දැන් නැවත වරක් රාජපක්ෂ වරයෙක් මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත. ඔහු ගෝඨාභය රාජපක්ෂයි. මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීමට බිය, තමන්ගේ වචනයෙන් කතාවක් කරගැනීමට නොහැකි මානසිකව හිරවූ ජිවිතයක් ගතකරන ඔහු පැළඳ සිටින්නේ වෙස්මූනක් බව දන්නෝ දනිති.

ගෝඨාභය කිසිවෙකුටත් චෝදනා නොකරන්නේ ඔහුගේ මහත්මා ගතියක් නිසා නොවේ

මහා හොරෙකුට තවත් හොරුන්ට ඇඟිල්ල දික් කළ නොහැක. ගෝඨාභය එකෙකුට හෝ ඇඟිල්ල දික් කළහොත් ඔහුට විරුද්ධව ඇඟිලි දහසක් දිගුවන බව ඔහු දනී. ඒ තුළින් තම මනස වියවුල් වනවාට ඔහු අකමැතිය. නමුත් ගෝඨාභයගේ අන්තේවාසිකයින් නම් සුපුරුදු පරිදි තම ප්‍රතිවාදීන්ට කට කැඩිච්ච කතාන්දර කියමින් ගෝඨාභයගේ මහත්මා වේදිකාව දෙවනත් කරයි. කිසිවෙකු විවේචනය නොකරන නිසා ගෝඨාභය මහත්මයෙක් නම්, ඔහු වටා සිටින අන්තේවාසිකයන්ට නම් එම මහත්මා ගතිය ඇත්තේම නැත. ඒ මහත්මා ගතියේ ඌනතාවය පියවාගැනීමට උත්සහා කරන්නේ වියත් මගෙනි. එයට ඔහු වටාසිටින අර නූගතුන් නම් හතර මායිමක වද්දාගන්නේ නැත. සහභාගී කරගන්නේ උගතුන් පමණි. නමුත් ආරම්භයේ සිටි උගතුන්, වියත්මග අතරමග නතර කර රටෙනුත් පිටවිය. ඔවුන්ගේ දෙබස් නූගතුන්ගේ පිටපත් වලට අනුගත වීම අනිවාර්ය ය.

භාෂණයේ නිදහසට, සත්‍ය ප්‍රකාශනයට, නිර්මාණශීලි අදහස්වලට ඉඩක් නැත. රාජපක්ෂලා බලයේ සිටියදීත් දැම්මේ මේ තගමය. මොවුන් වියතුන්ව ගෙන්වන්නේ මොවුන්ගේ දේශපාලන ඉදිරිගමනට ය. අප සමඟ වියතුන් සිටිනවා යැයි මිනිසුන්ට පෙන්වා රැවටීමටය. නමුත් බලයෙන් පසු ඔවුන්ට වියතුන් අමතකවනු ඇත. මොවුන් බලයේ සිටි කල, අත්තනෝමතිකව ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ, සහනදායි ණය ලබාගත හැකිව තිබියදී ගිණිපොලියට ණය ලබාගත්තේ, අණපනත් ගිවිසුම් අනුමත කරගත්තේ කසිම උගතකුගේ උපදේශයකින් තොරවය. මෙතරම් වියත් ගායක් රාජපක්ෂලාට කළිනුත් තිබුණානම් තවමත් විධායක ජනපති මහින්ද රාජපක්ෂ බව මතක තබාගත යුතුය.

ජනතාව සුන්දරව රැවටූ යහපාලනය

එජාපය ප්‍රමුඛ කරගත් ජවිපෙ ඇතුළු තවත් කණ්ඩායම් බොහෝමයක ගේ ආශීර්වාදයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 දී රාජපක්ෂ රෙජීමය පරදමින් ජයග්‍රහණය ලැබුවේය. “දින 100 න් අළුත් රටක්”  යන්න යහපාලන කණ්ඩායමේ තේමාව විය. ඒ අනුව සිරිසේන මහතා ජනධිපති වී ඔහුගේ බලතල යටතේ රාජපක්ෂ ආණ්ඩුව අහෝසි විය. එතැන් පටන් හවුල් ආණ්ඩුවක් යටතේ එක් දිනකට එක් වැඩය බැගින් දින 100 කින් වැඩ 100 ක් කර, අළුත් රටක් ගොඩනගන බව ඔවුන් ජනතාවට පොරොන්දු විය. එම වසරේම පාර්ලිමේන්තු මැතිවරණයේදී මහජනතාව එජාපයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලයක් ලබා නොදීමෙන් ම එම වැඩ 100 යේ කෙරුවාව පිලිබඳව මනාව අවබෝධ  කරගත හැකිය.

ඔවුන් ජනපති වරණයෙන් බලයට පත් වූ පසුව පොරොන්දු වූ පරිදි ඇමති මණ්ඩලය 25 ට පත්කළේය. ජනතාවගේ බඩුමිළ අඩුකළේය. ඒ දින 100 න් පසු එලඹෙන මහමැති වරණය සඳහා ජනතාව මුලා කිරීමට ය. නමුත් එම දින 100 අතර තුරම ඇමති මණ්ඩලය නැවත පැටව් ගැසුවේය. ජිවන වියදම ටික ටික ඉහලට යෑමට පටන්ගත්තේය. කෙසේ හෝ ඔවුන් 2015 මහා මැතිවරණයෙන් පසු නැවතත් හවුල් ආණ්ඩුවක් ගොඩනඟාගත්තේය. ඉන් පසු අද දක්වා ඔවුන් කලේ රාජපක්ෂලා සිදුකරපු දේවල්ම ය. අල්ලපු හොරෙක් නැත. ඒවෙනුවට මහාපරිමාණ හොරකම් එළිපිට සිදුවිය. ඒවාට නීතියක් නැත. රාජපක්ෂ සමයේදී රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රධාන චෝදනාව වූයේ, මුදල් ඇමති රාජපක්ෂ මහතා ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියලේ අගය බාල්දු වෙන බවය. නමුත් රනිල්ගේ රජයේදී එම චෝදනාව ඔවුන්ටම සිදුකරගත යුතුවුවත්, ඔවුන්ට අනුව දැන් රට සුඛිතමුදිත ය. මේවා පිළිගන්න මොඩයින්ද සිටියි.

රාජ්‍ය මාධ්‍ය රජයේ බලපෑමෙන් නිදහස් කරනබව පැවසුවද ඔවුන් සිදුකරන්නේ ද පෙර රජයේ ක්‍රියා පිළිවෙතයි. රාජ්‍ය සේවයට කරන නීතිවිරෝධී පත්වීම් නතර කරන බව පොරොන්දු වුවත් එම පරෝන්දු කඩකළ වුන්ම අද ජනපති නනතුර දක්වා ඉදිරිපත් කර ඇත. දැන් හංසයා ලකුණින් ඉදිරිපත් වී සිටින්නේ එම අසාර්ථක කණ්ඩායමේ, අසාර්ථක ලෙස තම තනතුර හෙබවූ, අසාර්ථක අදහස් ඇති සජිත් ප්‍රේමදාස මහතා වේ. දැන් ඔවුන් පෙර ජනාධිපතිවරණයේදී මෙන් හොරු අල්ලන පොරොන්දු දෙන්නේ නැත. රාජ්‍ය සේවය සහ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කරන පොරොන්දු රෙදි ඇඳගෙන දීමට බැරිය. රට ගොඩනගන ආර්ථික ප්‍රත්පත්ති, සැලසුම් ඉදිරිපත් කළ නොහැක. ඔයකියන දේවල් මේ අවුරුදු පහ ඇතුලත සිදුනොකලේ ඇයිදැයි යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත. එම නිසා ඔවුන් දැන් දෙන්නේ අතිශය බොළඳ පොරොන්දු ය. මෙවැනි අසාර්ථක පිරිසකට නැවතත් බලය ලබාදිය යුත්තේ කුමන හේතුවක් මතද යන්න අපැහැදිලි ය.

මෙම පක්ෂය දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් පවතී. 2015 ජනපතිවරණයේදී ඡන්ද ලක්ෂ 62 ක් ලබාගත්තත් 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මොවුන්ට ලැබුනේ ලක්ෂ 36 කි. පාස්කු බෝම්බ ප්‍රහාරයට සිනා සීමෙන් පසුව එම ඡන්ද මීටත් වඩා අඩුවනු ඇත. එමනිසා දිගින් දිගට ප්‍රතිෂේප වන පක්ෂයක් ජයග්‍රණය කරවීම අපහසුය.           

අනුර කරන්නේ කුමන්ත්‍රණයක්ද? ඩීල් එකක්ද?

ප්‍රධාන පක්ෂ දෙක එසේ ඇස්පනාපිට අසාර්ථක වනවිට, ඔවුන්ව මහජනයා ප්‍රතිෂේප කරනවිට ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි අවස්ථාවක් ඇතිබව යමෙකුට සිතිය හැක. නමුත් එය එසේ නැත. ඊට හේතු බොහොමයකි. ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීර විසින් ආරම්භකළ වාමාංශික පක්ෂයක් බව කවුරුත් දනිති. එමෙන්ම හැත්තෑව දශකයේ සිට අසූව දශකය දක්වා මුළු රටම ත්‍රස්ත කරමින් බලහත්කාරයෙන් තමන්ට ඕනෑ විදිහට ජනතාව සාහසිකව පාලනය කිරීමට උත්සහා දැරූ, රට අඳුරු යුගයකට ඇද දැමීමට වගකියයුතු ප්‍රචණ්ඩ කාරී පක්ෂයක් ලෙස ජනතාවිමුක්ති පෙරමුණ සියළු ජනයාගේ හදවත් තුළට පමණක් නොව ජාන තුළටම කිඳාබැස ඇත. එමනිසා JVP යන නම ඇසූ පමණින්ම ජනතාවට දැනෙන හැඟීම එතරම් හොඳ දෙයක් නොවේ.

ඉන්පසුව ඔවුන් විශ්වවිද්‍යාල තුළද තම අණසක පතුරවමින්, නවක ශිෂ්‍යයින්ට වදබන්ධන පමුණුවමින්, පිඩිත පන්තිය වෙනුවෙන් පෙනීසිටිනවා යැයි කියමින් තම සහෝදරයින්වම පිඩාවට පත්කරමින්, ඔවුන්ව බලහත්කාරයෙන් යටත්කරගනිමින් සිදුකරන්නේද විජේවීර සිදුකල භූමිකාවටට සමාන භූමිකාවක් බව සියළු දෙනා දනිති. එමනිසා ඔවුන්ගේ පක්ෂයත්, ඔවුන්ගේ සමජවාදයත් ජනතාව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ඔවුන්ගේ ඉතිහාසයයි.

වර්ථමානයේදී ද ඔවුන් කරන්නේ සමස්ථ ශ්‍රී ලාංකිකයින්ට අමන්ත්‍රණය කරනවා වෙනුවට ඔවුන් ගෝඩනැගූ උපසංස්කෘතිය පිනවීමට කතන්දර සපයමින් ඔවුන්ගේ අනුගාමිකයින් අතර පමණක් තරුවක් වීමය. එමෙන්ම මොවුන් සිදුකළේ ප්‍රධාන පක්ෂ දෙක සමඟ වතාවෙන් වතාව යහන්ගත වෙමින්, පක්ෂයේ කන්‍යාභාවය තමන්ම විනාශ කරගැනීමය. පසුගිය 2018 ප්‍රාදේශීයසභා මැතිවරණයේදී කෙතරම් බලාපොරොත්තු දල්වාගෙන සිටියත් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද ලක්ෂ හතකටත් වඩා අඩුවෙනි. එමනිසා මෙම ජනපතිවරණය කිසිලෙසකින්වත් අනුර කුමාරට ජයග්‍රහණය කළ නොහැක. ඒ බව ඇතැම් පුද්ගලයින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශද  සිදුකර තිබුණි.

කෙසේවෙතත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට අභියෝග කරමින් අපේක්ෂකයෙක් මෙවර ජනපතිවරණයේ පෙරළියක් කරන බවට අජිත් රෝහණ කොලොන්නේ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමාජය තුළ ලැව්ගින්නක් මෙන් පැතිරිණ. එය එතරම් ජනප්‍රිය වූයේ එය ජනතාවගේ යටිසිතේ තිබූ සැබෑ මතය නිසාවෙනි. ඒ වනවිටත් NPM එක (ජාතික ජනතා ව්‍යාපාරය) සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් යම් මෙහෙයක් සිදුකරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නෙත ගැටුනේය. NPM එක යනු උගතුන් සහ වෘතිය වේදීන් විසින් දේශපාලන වෙනසකට එකතුවූ බලවේගයකි. ඒ වනවිට මහේෂ් සේනානායක මහතාව NPM එක විසින් නම්කර නොතිබුණද, ඔවුන් තෝරාගන්නා අපේක්ෂකයා ලියාපදිංචි පක්ෂකයකින් ඉදිරිපත් කලයුතු බැවින් එම අපේක්ෂකයා එජාපයෙන් ඉවත්වූ ශ්‍රීනාත් පෙරේරා මහතා ගේ ජාතික ජනතා පක්ෂයෙන් (NPP) ඉදිරිපත්කරවීමට සියළු කටයුතු යොදා තිබුණි.

කෙසේ හෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට තම දේශපාලන ගමන වෙනස් කරමින් 2019 ජූලි මාසයේදී ජනතා විමුක්ති පෙරමුණද NPP නමින් ව්‍යාපාරයක් කඩිමුඩියේ අටවාගත්තේය. එම බලවේගයද NPM එකට පෙනුමෙන් සමානය. එම බලවේගය තුළ ද උගතුන් සහ වෘතිය වේදීන් සිටින බව පෙන්වීමට ඔවුන් උත්සහා කළේය. මෙතෙක් කල් විශාල ජනකායක් සමඟින් එළිමහන් වේදිකාවල මොරදුන් ඔවුන්, NPM එක මෙන් ගෘහස්ථ විය. එය එතනින් නොනවතුනේය. අනුරට ඇති පාර්ලිමේන්තු බලතල භාවිතා කළ ඔහු, මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ NPM නාමය යටතේ ය. (පාර්ලිමේන්තු සභිකයෙකුට ලියාපදිංචි නොමැති, නව පක්ෂ නාමයක් භාවිතා කරමින් ජනපතිවරණ වලට ඉදිරිපත් වීමේ හැකියාව පවතී) අවසානයේ අනුරගේ NPP දැන් NPM වී ඇත. අනුර කුමාරට N,P, හෝ M යන අකුරු තුනෙන් තොරව ඉංග්‍රීසි භාෂාවේ වෙනත් අකුරු පිළිබඳව අවබෝධයක් තිබී නැත.

තමන් විකල්පය ලෙස එකවරම හඳුන්වා ගනිමින් NPP සහ NPM යන නම්, එහි සැබෑ අයිති කරුවන්ගේ අවසරයකින් තොරව තම බලතල භාවිතා කරමින් ඔහුගේ දේශපාලන ගමනට යොදාගන්නේ සැබෑ විකල්පය බිඳ දැමීමටය. ඔවුන්ද අනෙකුත් පක්ෂ මෙන්, වෙනත් කණ්ඩායමක් දේශපාලනයට එකතු වෙනවාට කැමති නැත. එසේ එනවා නම් ඔවුන්ට එකතු විය යුතුය. සැබෑ NPM සහ NPP එක පිළිබඳව ජනතාව ව්‍යාකූල කර, සැබෑ NPM හරහා ගොඩනගන බලවේගය තමන්ගේ ගිණුමට බර කරගැනීමට දැරූ වෑයම අතිශය පහත්ය.

රටට නව ගමනක් අරඹනවාට වඩා ඔවුන් කැමති තමන්ගේ පක්ෂ ආරක්ෂා කර ගැනීමට ය. එමනිසා පක්ෂ ආරක්ෂා කරන වහළුන්ට මෙවැනි පහත් පෙලේ වැඩවල වරදක් පෙනෙන්නේ නැත. ඒවා සාමාන්‍ය දේවල් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට තමන්ගේ පැවැත්ම වෙනුවන් මෙවැනි පහත් වැඩ සිදුකරනවානම් මොවුන් බලයට පත්වූ විට කුමන දේවල් සිදුකරයිද යන්න ගැටළුවක් ඇත. 80 දශකයෙන් පසුව පරිණාමය නොවූ පිරිසක් නව යුගයක් නිර්මාණය කරන්නේ කෙසේදැයි යන්න ඇත්තේද බරපතළ ගැටළුවකි .

මහේෂ් සේනානායකගේ ආගමනය

ඇතැමෙක් සිතන විදිහට මහේෂ් මහතාට ජයග්‍රහණය කළ නොහැක. නමුත් රටෙන් 100% ජනතාව එක හෙලා “ඔබතුමා රට භාරගන්න” යැයි කියූ එතුමාට මෙම ජනපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකියි කීම සාධනීය කාරණයක් නොවේ. ඉතිහාසයේ ප්‍රථමවරට නිල්, කොළ, රතු පාට වලින් තොරව ඡන්දයක් පැවැත්වේ. එමඟින් පිළිබිඹු වන්නේ එම පක්ෂ වල කඩාවැටීමයි. ජනතාව ඔවුන්ගේ පක්ෂ ප්‍රතිෂේප කරන නිසා ඔවුන් විවිධ මුහුණු තුළින් ජනතාව අතරට පැමිණීමට උත්සහා දරයි. මේ සියල්ල මැද මහේෂ් සේනානායක මහතා අවම වියදමකින් අවම උත්සහයකින්, මැතිවරණ රැළි නොමැතිව, ප්‍රධාන පක්ෂ කලඹමින් ඒ සියල්ලගේම පොදු සතුරා බවට පත්වෙමින් ජනතාවගේ හදවත් මේ කෙටි කාලය තුළ දිනාගෙන ඇත. අනික් පක්ෂවල මෙන් ප්‍රදර්ශණ භාණ්ඩ වශයෙන් පෙන්වීමට පමණක් උගතුන් බුද්ධිමතුන් නැත. එතුමා බුද්ධිමතුන්ගේ තේරීමකි 

වඩා වැදගත් ගෝඨාභය එළවීම ද?

ගෝඨාභය ජනපතිවීම වැළැක්වීම සඳහා සජිත්ට ඡන්දය ලබා දියයුතු බවට මතයක් ඇතැමෙක් විසින් සමාජගත කිරීමට උත්සහා කරයි. ඔවුන් එසේ කියන්නේ තමන්ගේ ඇතුලේ සිටින UNP කාරයා නැවත නැගිටීමෙන් විය හැක. 2015 දී අප සිදුකලෙත් එයම ය. රාජපක්ෂවරු පිළිබඳ තිබූ වෛරය පිරිමසා ගැනීමට ඔවුන්ට විරුද්ධව ඡන්දය භාවිතා කෙළමු. අවසානයේ රාජපක්ෂවරු පරාජය වීම, අපි ඉමහත් ප්‍රීතියෙන් භුක්ති වින්දෙමු. ඒ නිසා සිංගප්පූරු ජාතිකයෙක් වූ රනිල් වික්‍රමසිංහ ගේ ගජ මිතුරෙක්, මහබැංකු අධිපති වීම කෙතරම් නීතිගරුකද යන්න ප්‍රශ්න කිරීම අපට අමතක විය. රාජ්‍ය මාධ්‍ය වලට නිදහස ලබාදෙනවා යැයි කියමිත් බලයට පත්වී ඔවුනුත් රාජපක්ෂලා ගත් ගමන් මාර්ගයේම ඉදිරියට ඇදෙන විට ඒ පිළිබද ප්‍රශ්ණ කිරීමට අමතක විය. දේශපාලන පත්වීම් වලින් රාජ්‍ය සේවයට සිදුකරන හානිය නිමකරනවා යැයි පොරොන්දු දුන්නාට, සජිත් ප්‍රේමදාසලා ලක්ෂමන් කිරිඇළ්ලලා ගේ දූෂිත ක්‍රියා පිලිබඳ ප්‍රශ්න කිරීමට අපිට අමතක විය. තවමත් ඔවුන්ට නීතියක් ක්‍රියාත්මක වන්නේ ද නැත. ඔවුන් බලයට පත්වූ විට නීතියක් ක්‍රියාත්මක කරයි කියා විශ්වාස කළ නොහැක.

නමුත් අප රාජපක්ෂලා බලයෙන් පහකිරීමේ සතුට භුක්ති වින්දෙමු. අපට අවශ්‍ය රටේ නායකත්වයට සුදුස්සෙක් විනා අරයා මෙයා එළවීමට ජොකියෙක් නොවේ. ගතවූ වසර පහතුළ එයින් පාඩම් ඉගෙනගෙන අපගේ චින්තනය පරිණාමය වී නොමැති නම් අප තවමත් එතනමය. එමනිසා නැවත නැවතත් රෑ වැටුණු වලේ දවල් නොවැටිය යුතුය. පෘතුගිසින් පලවාහැරීමට ලන්දේසි අවශ්‍ය නැත. කවුරු හරි සිතනවානම් යකා එළවිය යුතුයි කියා. යකා එළවිමටත්, හැත්තෑ වසරක දේශපාලන ශාපය නිමකිරිමටත් මේ දෙකටම මේ මොහොතේ සිටින එකම සුදුස්සා ජෙනරාල් මහේෂ් සේනානායක පමණි.

1994 ජනාධිපත්වරණයේදී චන්ද්‍රිකා මැතිණිය 62% ක් ලබා විශිෂ්ඨ ජයක් අත්කරගනී. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී 60% ක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහතාද ඊට සමාන ජයග්‍රහණයක් ලබයි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මහින්දට ලැබෙන්නේ 47% ක් සහ. 2015 මහමැතිවරණයේදී 42% කි. නිදහස් පාක්ෂිකයින්ගේ චන්ද පදනම බරපතළ ලෙස කඩා වැටී ඇත. එමෙන්ම UNP එකට 1994 ජනාධිපත්වරණයේදී ලැබෙන්නේ 35% ක පමණ ප්‍රමාණයකි. නමුත් 2015 දී ඔවුන්ගේ බලවේගය 51% දක්වා ඉහළ ගියේය. මෙමඟින් පිළිබිඹු වන්නේ ඡන්දය භාවිතා කරන්නන් ගෙන් 30% පමණ ප්‍රතිශතයක් අවස්ථාව අනුව කතිරය ගසන පාවෙනඡන්ද දායකයින් බවය.

පසුගිය 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලක්ෂ 35 කට වඩා වැඩි පිරිසක් ඡන්දය භාවිතා කර නැත. එම මැතිවරණයේදී විපක්ෂය වූ UNP එකට ලැබෙන්නේ ද ඊට සමාන ඡන්ද ප්‍රමාණයකි. එනම් මෙම සාම්ප්‍රදායික පක්ෂ සියල්ල එපා වූ පිරිස එකතු කළහොත්, UNP එක තුන්වන බලවේගය වේ. පක්ෂ සියල්ල එපා වූ අර පිරිස විපක්ෂයයි. එම ලක්ෂ 35 ට මෙවර කදිම අවස්ථාවක් උදාවී ඇත. නැවතත් දූෂිතයින් පත්වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුන්ගේ ඡන්දයට හැකිය. මහේෂ් සේනානායකට එම පිරිස ඉතා වැදගත්ය. හේතුව ඔහු පෙනී සිටින්නේ එවැන්නන් වෙනුවෙන්ය. මහේෂ් මහතා ඉදිරිපත්වූ රුපවාහිනී දේශපාලන වැඩසටහන් වලදී ද ජනතාව ඇද බැඳ තබාගැනීමට එතුමාට හැකි විය.

ඊට අමතරව නව ඡන්ද ලක්ෂ 10 පමණ අලුතින් එකතුවේ. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ දෙමව්පියන් සිතන විදිහට වඩා හාත්පසින් වෙනස් අයුරිනි. ඔවුන් කිසිවෙකුගේ වහලුන් වීමට අකමැතිය. ගුණාත්මක ජාත්‍යන්තර ඉහළ නිර්මාණ රසවිඳින ඔවුන්, එවැනි දේවල් ලංකාවේ නිර්මාණකරුවන්ගෙන් ද බලාපොරොත්තුවන ඔවුන්, Iraj වැනි පහත් පෙලේ මිනිසුන්ගේ දේශපාලන උගුල් වලට හසුවීමට තරම් මෝඩයෝ නොවෙති. එමෙන්ම දැනට ලංකාව තුළ සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරන්නන් ලක්ෂ 60 ඉක්මවයි. ඔවුන් සියළු දෙනාම මහේෂ් යනු කවුරුන්ද යන්න මේ වනවිටත් හොඳින් දන්නේය. ඔවුන්ගෙන් දේශපාලන පක්ෂ වෙනුවෙන් දඟලන්නේ 3000 – 4000 ක පමණ පිරිසක් පමණි. එම අල්පතරයේ මතය මිලියන 20 ක ගේ මතය නොවන බව මතක තබාගත යුතුය.

ඒ වගේම ජනපතිවරණයට ගෝඨාබය වැන්නෙක් ඉදිරිපත් කිරීම තුළින් සිදුවන්නේ මහින්දගේ ඡන්ද පදනමින් කාටසක් ගැලවී යාමය. මිනිසුන් ආකර්ෂණය වූයේ මහින්ද වටා මිසක් ගෝඨාභය වටා නොවේ. ගෝඨාභයට මහින්ද තරම් ආකර්ෂණශීලි ස්වභාවයක් නොමැත. එමෙන්ම 2018 දී නීතිවිරෝධීව මහින්දව ඉත්තා කරගනිමින් බලය ලබාගැනීමට ගත් කූට උත්සාහයෙන්, පොහොට්ටු කඳවුරේ යම් හෝ බුද්ධියක් තිබූ පිරිස කළකිරීමකට පත්විය. UNP එක පාස්කු ප්‍රහාරයට පෙරත් පසුත්, ජනපතිවරණයට පෙරත් සජිත්ගේ කතා නිසා ඊට පසුත් දිගින් දිගටම ප්‍රතිෂේප වෙමින් පවතී. එමනිසා මේ ජනපතිවරණය මහේෂ් සේනානායකට තීරණාත්මකය.

යකා එළවිය යුතු යැයි දැඩිව සිතන්නන්, ජනතාව ප්‍රතික්ෂේප කළ අසාර්ථක, පරදින පක්ෂ තෝරාගැනීමෙන් ඵලක් නොවන බව වටහාගනු ඇත. ඔවුන් සියල්ලෝම මහේෂ් වටා එකතු විය යුතුය.සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය එපා වුණු, මධ්‍යස්ථ හා පාවෙන  ඡන්ද දායකයින්ගේ එකම විකල්පය මහේෂ් විය යුතුය. අවසන් මොහොතේදී හෝ දේශපාලන හා පක්ෂ වහල්භාවයෙන් ඉවත් වූවන්ගේ එකම අපේක්ෂකයා මහේෂ් සේනානායක විය යුතුය.      

එමනිසා මේ වනවිට මහේෂ්ට ස්වභාවිකව විවරවී  ඇත. නමුත් ප්‍රධාන පක්ෂවල අධිපතිත්වය එම අවස්ථාව අහුරා දමයි. වෛරය, ගෝත්‍රවාදය, ජාතිවාදය ආගම්වාදය වපුරවන්නේ ඔවුන්ය. ඔවුන්ගේ වෛරී කතා අසා නින්දට යන්නවුන්ට සුව නින්දක් නැත. ඔවුන් නිසා මානසික ආතතිය සමාජයේ බෝවෙන රෝගයක් බවට පත් වී ඇත. ඔවුන් මිනිසුන්ට ඇතුල් කරන්නේ සෘණාත්මක අවේග පමණි. මෙම ශාපයෙ නිමා කළ යුතුය. 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාතියක් හැටියට අප සියළු දෙනාම මොහොතකට හෝ දේශපාලන ගැති භාවයෙන් තොර විය. අප 225 ම එක හඬින් ප්‍රතික්ෂේප කළේය. මොහොතකට හෝ විවෘත වූ පිරිසිදු, අවංක හදවතින් අපි කළ එකම ඉල්ලීම වූයේ  “හමුධාපති තුමා මේ රට භාරගන්න” යනුවෙනි. ඔබ ඉල්ලූ දෙය ඔබට ලැබී ඇත. මීළඟට ඇත්තේ ඔබේ වාරය යි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares