• October 28, 2020
0 Comments

බෙදා හරින්න

පෙබරවාරි 08 වන දා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටරයේදි චමිල ප්‍රියංකගේ මෙය තුවක්කුවක් නොවේ ( This is Not a Gun) නැරඹුවෙමි. එය තුවක්කුවක් නොවේ නම් අන් කවරක්ද ? (If it is not a Gun, then what is it?) . නිරන්තරයෙන්ම තුවක්කු සඳහා එන්ටයිට්ල් වී ඇති පාර්ශවයන්ට හැරුණු විට, නාට්‍ය කරුවන්ට ද තුවක්කු තිබෙන බවද ඒවා අන් සකලවිධ තුවක්කු ශුක්ෂ්ම ලෙස ප්‍රශ්ණ කෙරෙන අයුරින් පත්තු කළ හැකි බවද චමිල ප්‍රියංක අපූර්ව ලෙස පෙන්වා දී ඇත. ආශ්වාදය ද සහිතව කම්පනය වෙත ළඟා විය හැකි බව මිනිත්තු 60 කට ආසන්න කාලයකින් චමිල ඒත්තු ගන්වා ඇත.

“මෙය තුවක්කුවක් නොවේ” සැකැස්ම සංකීර්ණ එකක් නොවේ. පොදුවේ ගත් කළ එය ප්‍රේක්ෂකාගාරයේ හිසට වෙහෙස දනවන්නේ නැත.  නමුත් එයින් මතු කරන ප්‍රශ්ණ කිරීම අතිශයින්ම තියුණු එකකි, ඒ තියුණු ප්‍රශ්ණ කිරීම රචකයා මතු කරන්නේ මූලික වශයෙන් එකිනෙකට පෑහෙන, කැපෙන, සරළ දෙබසින් හා එහි වූ අර්ථ මුසු උත්ප්‍රාසය ඔස්සේය. රචකයා තියුණු ලෙස ප්‍රශ්ණ කර සිටින්නේ රාජ්‍යයේ දෘෂ්ඨිවාදය සහ ඓතිහාසිකව දේශපාලන ව්‍යාපෘති ඔස්සේද ප්‍රාග්ධන හිමිකාරීත්වය දරණ මාධ්‍ය මුදලාලිලා විසින්ද අප ගිල්වා ඇති සමාජ විඥ්ඥාණය පිළිබඳවයි. එය නාට්‍යයේ මූල අක්ෂයයි.

මෙම ප්‍රශ්ණ කිරීමෙහිලා වැදගත් වන චරිත දෙකින් එකක් ලෙස බෞද්ධ හික්ෂුවක් වෙනුවට උපැවිදිවීමට පලායන චීවරධාරියෙකු යොදා ගන්නට තරම් රචකයා නිර්මාණශීලීත්වයෙන් කට්ට වී ඇත. එමගින් රචකයා නාට්‍ය වෙත ප්‍රවේශ විය හැකි ප්‍රේක්ෂකාගරයේ තරම යම් පමණකට පුලුල් කොට ඇත. කොටින්ම කියතොත් භික්ෂුව ඔස්සේ සමාජය ප්‍රශ්ණ කිරීමට මැළිවන, බියවන ප්‍රේක්ෂකයාට සාසනයට පිටුපා එය හැර යන චීවරධාරියෙකු හරහා එම ප්‍රශ්ණ කිරීමේ යෙදීමට හැකිවන පරිදි පහසුතා කළාපයක් ගොඩනංවා තිබේ. එය රචකයා සතු පරිකල්පනයේ ද ශිල්පීය උපායන්ගේ ද පරිණතබාවයයි.

අනෙක් චරිතය නම් මානසික රෝගී තත්වයකින් පෙළෙන තරුණයා යි. පලායන භික්ෂුව සොරාගෙන විත් ඇති කහ පැහැති ස්කූටිය පැදයාම බාරවන්නේ ඔහු වෙතයි. සම්මත ප්‍රකෘතිය විනිවිද යාමට රචකයා යොදාගෙන ඇත්තේ යොදාගෙන ඇත්තේ මෙකී චරිතයේ මානසික රෝගී තත්වයයි.මෙම චරිතයන් දෙක නිරූපණය කරන සමාන්‍ය ලෞකික සමාජයට හා ආගමික සමාජයට හිමිව තිබෙන ලාක්ෂණික තත්වයන් එකිනෙක මාරු කරමින්, විටෙක මෙම චරිත දෙක ප්‍රතිවිරුද්ධ ලෙස අභිමුඛ කිරීම රචකයා විසින් සිදු කරයි. එය අලු වලට පිඹ ගිනි පුළිඟු මතු කරන්නාක් වැනිය . උදාහණයකට පළමුව පලායන භික්ෂුව විසින් මානසික රෝගී තරුණයාට උපදෙස් ලබා දුන්නද, පසුව පලායන භික්ෂුවට කළබල නොවී සංසුන්ව ඉන්නා හැටියට කියා සිටින්නේ එකී මානසික රෝගී තරුණයාය. එමෙන්ම එම සමාජයන් දෙකෙහි වටිනාකම් පිළිබඳව එකිනෙක හා තියුණු ගැටීමක් සිදු කරන දෙබස්, රචකයා විසින් මෙහි ඇතුලත් කොට ඇත. එක් අවස්ථාවක මානසික රෝගී තරුණයා මළ මිනියක් වළ දැමීමට උත්සාහ කරන දෙදෙනා අතර ඇතිවන සංවාදය මෙසේය.

පලායන භික්ෂුව – උබට පිස්සුද, පවු පුරවා ගන්නද හදන්නේ…?

තරුණයා – ඇයි හාමුදුරුවනේ, මිනියක් වළ දැම්මාම පවු පිරෙනවද..?

පලායන භික්ෂුව – ඕක ත්‍රස්තවාදියෙක්ගේ මිනියක් නම්….. 

“මෙය තුවක්කුවක් නොවේ” වේදිකා නාට්‍යයෙන්..

එකී ලෞකික හා ආගමික සමාජයන් විසින් මේ වන විට හිමිකොට ගෙන් තිබෙන ලාක්ෂණික තත්වයන් බැලූ බැල්මට ප්‍රයිමෝඩියල් (Primordial) තත්වයන් ලෙස පෙනුනද, ඒවා ශෝෂලි කන්ස්ට්‍රක්ට් (Socially constructed) කරන තත්වයන් බව මෙම අභිමුඛ කිරීමෙන් වටහා ගැනීමට හැක. එනම් තව දුරටත් ලෞකික සමාජ සාතන්ගේද ආගමික සමාජය දෙවියන්ගේද නොවේ. එය පවතින තත්වයන් විසින් නොනවත්වා නිර්මාණය කරන්නකි.

තරුණයා ක්ලාන්තව ඇද වැටුනු විට (ගිහි ඇඳුම් සොයමින් සිටි ) පලායන භික්ෂුව විසින් ඔහුගේ ඇදුම් ගලවා ගෙන චීවරය පසෙකට දමා ඒවා ඇඳ ගන්නා අවස්ථාවක් නාට්‍යයේ ඇත. අවදි වූ  තරුණයා විසින් නැවත එය ඉල්ලා සිටින විට , භික්ෂුව කියා සිටින්නේ එසේ ඉල්ලිමෙන් පවු සිදු වන බවයි. අප අත් විඳින නූතන සමාජ සැකැස්ම තුළ සාමාන්‍ය ලෞකික සමාජය වෙත, තම සීමා අතික්‍රමණය කරමින්  කඩා වැදීමට ආගමික සංස්ථාවන්ට උත්තරීතර අයිතියක් ඇති බවටද එය ප්‍රශ්ණ කිරීමේ අනිටු විපාකයන් ඇති බවටද වූ විශ්වාසය මේ ප්‍රකාශනය ඔස්සේ රචකයා විසින් ඉතා සියුම් ලෙස මතු කරන බව හැඟී යයි.      

යුරෝපීය අර්ථයෙන් නිරාගමිකත්වය බිහිවන්නේ ආගමික සංස්ථාව සහ රාජ්‍ය අතර ගැටුමෙනි, එනම් පල්ලියෙන් රාජ්‍ය නිදහස්වීමේ ගැටුමක් ලෙසය. වත්මන් සමාජය තුළ ආගමික සංස්ථාව රාජ්‍ය වෙත විනිවිද යාමේදී ඇතිවන බරපතල සංකූලතා ඇතැම් ජවනිකා ඔස්සේ රචකයා විසින් ඉතා අපූර්ව දෙබස් භාවිතයෙන් මතුකොට ඇත. එය හාස්‍යය තවරන ලද, එහෙත් දරුණු අතුල් පහරකි. පලායන භික්ෂුව සහ තරුණයා රැගත් යතුරු පැදිය පොලීසියෙන් නැවැත්වූ අවස්ථාවේ සිදුවන සංවාදය ඒ අතුරින් කැපීපෙනේ. එය පහත පරිදිය.

පලායන භික්ෂුව  – ඔහෙලා ප්‍රශ්න අහනවද..? මං අහන්නද..?

පොලිස් නිළධාරීන් –  අහන්න ..අහන්න..අපේ හාමුදුරුවනේ ඕන දෙයක් අහන්න…

ඒ දෙබස් ඇසූ සැණින් හැඟෙන්නේ, රචකයාට තව කුමක් ප්‍රේක්ෂකාගාරයෙන් ඇසීමට ඉතිරිව තිබෙන්නේ ද කියාය ?

එක් ජවනිකාවක හඬන අත දරුවෙකු නළවාගැනීමට අවශ්‍ය වූ විට, එයට යොදා ගන්නේ රේඩියෝවකි, පරණ කැඩුණු රේඩියෝවකි. එය සොයාගන්නේ කුණු ගොඩකිනි, එය ක්‍රියා විරහිත එකකි, ක්‍රියා කරන්නේ වැරෙන් තට්ටු කළ විටදීය. එයින් ඇසෙන්නේ දේශානුරගී ගීත ය. එම ගී හේතුවෙන් පලායන භික්ෂුවට මෙන්ම පොලිස් නිළධාරීන්ටද සුවසේ නින්ද යයි. මෙකී රේඩියෝව ද, එහි ක්‍රියාකාරීත්වය ද එය මගින් නාට්‍ය වෙත ලබාදෙන මුලු පැකේජයද උපයෝගී කරගනිමින් රාජ්‍ය ද, ග්‍රාම්ස්චියානු අර්ථයෙන් එහි හෙජමොනිය ද, නීතියේ ආධිපත්‍ය ද සංඛේතාත්මකව හා නාටකීය අයුරින් තියුණු ප්‍රශ්ණ කිරීමක් සඳහා රචකයා විසින් විවෘත්ත කොට ඇත. ඉහතින් සඳහන් කළ නාට්‍යයේ මූල අක්ෂය ඔස්සේ ස්කූටියේ නැගී ගමනේ යෙදෙන මෙම ප්‍රධාන චරිත දෙක ඒ අතර තුර විටින් විට එම අක්ෂයෙන් එළියට ගොස් ඒ අක්ෂය හා මනාව පෑහෙන පරිදි අතුරු කතා සාකච්ඡාවට ලක් කරයි. අත දරුවෙකු සමග එන කාන්තාව සහ තම මිතුරා සමග මදුවිත පානය කොට නිවෙස් බලා යන පුද්ගලයා එකී අතුරු කතා ලෙස දැක්විය හැක. 

90 දශකයේ සිට වේදිකාව ඔස්සේ මධ්‍යම පාන්තික ජීවිතයේ සංකූලතා (දේශපාලන ජඩකම් ද ඇතුළුව )තම ජීවිතය දෙසට අභිමුඛ කළ දර්පණයක් අන්දමින් ප්‍රේක්ෂකාගාරය වෙත රාජිත දිසානායක විසින් එක් පසකින් ගෙන එන විට චමිල ප්‍රියංක විසින් රාජ්‍යකට අයත්විම සහ එය විසින් අප මත තෙරපා ඇති දේශපාලන ජීවිතය ද සමාජ විඥ්ඥාණය ද   පුලුල් ප්‍රවේශයකින් අභිමුඛ කෙරෙන දර්පණයක් අන්දමට මෙම නාට්‍ය අනෙක් පසින් ප්‍රේක්ෂකාගාරය වෙත නිරාවරණය කොට ඇත. නිවසේදී රූපවාහිනිය ඉදිරියේ දෑත් නිකටේ ද දෑස් නළලේ ද තබා චූන් වන ප්‍රේක්ෂක සමූහයා ” මෙය තුවක්කුවන් නොවේ ” ඉදිරියේදී එහි උපහාසයට සිනාසෙන්නේ රාජ්‍ය මෙන්ම එහි දේශපාලනය දැන හෝ නොදැන ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන අන්දමටය. එම ප්‍රේක්ෂකයාට කදිම අභ්‍යාසයකි. නොනවත්වා කළ යුතු අභ්‍යාසයකි.

ආසන්න වශයෙන් වේදිකාවේ හරි මැද තබා ඇති විශාල ප්‍රමාණයේ තුවක්කුව (කාල තුවක්කුවකට සමාන ) මුලු රංගය පුරාම ප්‍රේක්ෂකයා එය වෙත ආශක්ත කර තබා ගන්නා බලය ‍යයි හැඟේ. එයින් ප්‍රේක්ෂකයාට ගැලවුමක් නැත. හුදු වේදිකාවෙන් ඔබ්බට ගොස්, අසුන්ගෙන සිටින ප්‍රේක්ෂකාගාරයේ දේශපාලන හා සමාජීය ජීවිතයට බලපවත්නා රාජ්‍ය බවට වේදිකාව පත්කරන්නේ එම තුවක්කුවෙන් බව කිවහොත් එහි වරදක් නැත.

” මෙය තුවක්කුවක් නොවේ ” පත්තු වී ඇත.

(පලායන භික්ෂුවගේ අවසන් දෙබස නොතිබුණි නම් හොඳ යැයි පෞද්ගලිකව සිතිනි. ) 

 තරිඳු ගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares